කුඩා කාලයේ සිටම කෙළිලොල් ජීවිතයක් ගතකල සරනි තිලකරත්න ව්‍යායාම වලට යොමුවන්නේ ඇයගේ උසස් පෙළින් පසුවයි. එම කාලය තුළ තරමක් මහත් වුණු නිසා ඇයට අවශ්‍ය වූයේ ලස්සන, දිගු කාලීනව පවත්වා ගැනීමට පුළුවන් සිරිරුක හිමිකාරිය වීමටයි. ව්‍යායාම කටයුතු වල නිරත වීමට පටන් ගැනීමත් සමග තමා බර ඉසිලීමෙන්, වෙහෙසකර ව්‍යායාම වල යෙදීමෙන් කාන්තාවන්ට ලබාගත හැකි සාර්ථක ප්‍රථිපල අත්දැකීමට සරනිට හැකියාව ලැබුණා. එයින් ලැබුණු අත්දැකීම් පෙරදැරි කරගනිමින් සහ තවත් පළපුරුදු ශිල්පීන්ගෙන් වැඩිදුර පුහුණුවීමෙන් පසු, 2016දී ඇය Physique by Sari වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. Facebook සහ Instagram හරහා කාන්තාවන් අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වුණු මෙම ශරීර සුවතා වැඩසටහන අද වනවිට නොදන්නා කෙනෙක් නැති තරම්. තමාගේ මහන්සියෙන් සහ අධිෂ්ඨානයෙන් ආ ගමන පිළිබඳ සරනිගේ ඇත්තේ ඉමහත් සතුටක්.

Sarani Tillekeratne

කාන්තාවක් වශයෙන් ඔබට ව්‍යායාම සහ බර උසුලන ක්‍රියාකාරකම් වල යෙදීමට කිසිදු බාධාවක් නැති බවයි සරනි අපට ප්‍රකාශ කලේ. ඇයගේ අදහස ඕනෑම කාන්තාවකට ඉතා පහසුවෙන් නිවස තුළදීම හෝ Gym/ Training Centre වලදී තමාගේ සුවතාවයට සහ ක්‍රමවත්, හැඩවත් සිරුරක් ලබාගැනීම සඳහා උද්‍යෝගයෙන් ක්‍රියා කල හැකි බවයි. ඇයගේ ක්‍රියාශීලීභාවය සහ උනන්දුව නිසාම ඇයට සියල්ලන්ගේම සහය ලැබුණු බව ඇය අපත් සමග කියා සිටියා. ඇයට මෙම ක්ෂේත්‍රය තුළ මුහුණදීමට සිදුවූ විශාලම අභියෝගය ලෙස ඇය දක්වා සිටියේ ඇයගේ බර ඉසිලීම අතරතුරදී සිදුවූ Achilles Tendon Injury එකයි. ඒ සමගම ඇයට Personal training සිදුකිරීමට තරමක් අපහසුතා ඇතිවූ නමුත් සියලු බාධක මැද්දේ ඇය Online training හරහා තමන්ගේ සිසුන්ට අවශ්‍ය උපදෙස් සහ පුහුණුව ලබාදීමට කටයුතු කළා. මෙහිදී සරනිට ලැබුණු දැවැන්ත ප්‍රතිචාර හේතුවෙන් Online training ඉතාම සාර්ථක ක්‍රමයක් බව ඇයට පසක් උනා. එදා සිට ඇයගෙන් උපදෙස් ලබාගෙන ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත් කාන්තාවන් සංඛ්‍යාව දිනෙන් දිනම වැඩිවෙමින් පවතින බව ඇය ඉතාම සතුටින් මතක් කළා.

 

සරනි තිලකරත්න ඉතාම කාර්යබහුල කාන්තාවක් වශයෙන් ඇයගේ රැකියාව සහ ශරීර සුවතා කටයුතු සමබරව පවත්වාගෙන යන ආකාරය පිළිබඳ අප විමසීමක් කළා. තම රැකියාව අවසන් වීමෙන් පසු ඇය සවස 4ට පමණ ඇයගේ physical training සිදුකර එයින් පසු online හරහා අනෙක් කාන්තාවන්ට උපදෙස් සහ සහාය ලබාදෙනවා. සරනිගේ බලාපොරොත්තුව උදෑසනම ඇයගේ සුවතා වැඩසටහන් ආරම්භ කිරීමටයි. මෙයට හේතුව ලෙස ඇය පෙන්වාදෙන්නේ ලොව වඩාත් සාර්ථක සියල්ලන්ම පාහේ උදෑසනම තම දවස පටන්ගන්නා අතර උදෑසන ශාරීරික සුවතා වැඩසටහන් වල නිරත වීමෙන් ලැබෙන ජවය එදින වැඩකටයුතු වලට ඉතාම ප්‍රයෝජනවත් බවයි. ඒ සඳහා උදෑසනින් අවදි වීමට ඇය මේ දිනවල උත්සාහ ගන්නා බව අප සමග කියා සිටියා. තමාගේ දෛනික කටයුතු සමගම සිය පවුල, මිතුරු මිතුරියන්, සබඳතා, සහ ඇයගේ සුරතලුන් සඳහා කාලය වැයකිරීමට ඇය හොඳින් කාලය කළමනා කරනු ලබනවා.

 

වඩාත් ක්‍රියාශීලී පුද්ගලයෙක් වශයෙන් සරනිගේ මානසික ආතතිය නැති කරගැනීමටත් ඇය workout වල යෙදෙනවා. ඒ වගේම ඇය විශ්වාස කරන්නේ විවේකය ඉතාම වැදගත් බවයි. දිගින් දිගටම එක් කටයුත්තක නිරත වීමට වඩා අතරමැදි විවේකයන් සමගම ඕනෑම ක්‍රියාවක යෙදීම වඩා සාර්ථක බව ඇයගේ අදහසයි. “අපි එක දිගටම diet කලොත්, අපිට diet කරන්න හැමදාටම එපා වෙන්න පුළුවන්. ඒත් අපි සතියකට වතාවක් cheat meal එකක් ගන්නවානම් අපිට ඊළඟ සතිය වඩාත් හොඳින් අපේ diet එක පවත්වාගන්න පුළුවන්. ඒ වගේම තමයි workout කරද්දී උනත්, වෙනත් වැඩක නිරත වෙද්දී උනත් අපි වරින් වර break එකක් ගන්නවානම් අපිට කලින් වගේම හොඳින් අපේ වැඩකටයුතු කර්ගෙන යන්න පහසුයි.” මානසික ආතතිය අවම කරගැනීමට හොඳම පිළියම ලෙස ඇය පෙන්වාදෙන්නේ තමා වඩාත් කැමති ක්‍රියාවක හෝ විනෝදාංශයක නිරත වීමයි.

 

Physique by Sari තව තවත් දියුණු කිරීම සරනිගේ අනාගත බලාපොරොත්තු අතර මුල්තැනක් ගන්නවා. ඒ වගේම ව්‍යාපාරික සහ ආයතන වල රැකියාවල යෙදෙන අයට fitness training කිරීමත්, කාන්තාවන් සඳහා වඩාත් පුළුල් fitness training/weight training වැඩසටහන් කිරීමත් සරනිගේ බලාපොරොත්තුවයි. “කාර්යබහුල ජීවිතයක් ගත කරන අය තමන්ගේ ශරීර සුවතාවය පවත්වාගෙන යන්නේ කොහොමද, ඒ අයව මම කොහොමද වැඩියෙන් fitness වලට යොමු කරවන්නේ කියන කාරනාවන් ගැන මම නිතරම නොයෙකුත් උපදෙස් ලබාදෙනවා. එයින් කෙනෙක් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන මට ස්තූතිවන්ත වෙන විට මට ලොකු සතුටක් ලැබෙනවා. අපිට නිරෝග්‍ය, ක්‍රියාශීලී ජීවිතයක් ගතකරන්න අවශ්‍ය ආහාර, පරිසරය, උපදේශකයින් වගේ හැමදේම ලංකාවේ තියෙන නිසා අපි මේවාගෙන් නිසි ප්‍රයෝජනයක් ගන්න එක ඉතාම වැදගත්. ඒ නිසා මාත් සමග ඔබේ දිවිය වඩාත් සාර්ථක කරගන්න එක්වෙන්න කියලා මම ආරාධනා කරනවා.”

 

 

තශ්මිලා නදීශානි

2015දී ලේඛිකාවක ලෙස සිය වෘත්තීයට පිවිසුනද, ලිවීමට සහ කියවීමට ඇය කුඩා කල සිටම නැඹුරුතාවයක් දැක්වූවාය. තම පන්හිඳෙන් ලෝකය දකින්නටත්, පන්හිඳෙන් ලොව වඩාත් ලස්සන කරන්නටත් ඇය උත්සාහ දරන්නීය.

Clayton Durant

තශ්මිලා නදීශානි

2015දී ලේඛිකාවක ලෙස සිය වෘත්තීයට පිවිසුනද, ලිවීමට සහ කියවීමට ඇය කුඩා කල සිටම නැඹුරුතාවයක් දැක්වූවාය. තම පන්හිඳෙන් ලෝකය දකින්නටත්, පන්හිඳෙන් ලොව වඩාත් ලස්සන කරන්නටත් ඇය උත්සාහ දරන්නීය.