රමණි ප්‍රනාන්දු යන නම නොදන්නා කාන්තාවක් නැති තරම්. ඒ තරමටම ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත චරිතයක් වශයෙන් ඇයව හඳුන්වන්න පුළුවන්. කුඩා කාලයේ සිටම ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට දැඩි ලෙස ඇලුම් කිරීම මවිතයට කරුණක්. මන්ද යත්, ඇය ජීවත් වූ පරිසරය කිසිසේත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය හා යා නොවූ එකක්. රමණි ප්‍රනාන්දු මහත්මිය මෙය දකින්නේ දෛවෝපගත සිදුවීමක් ලෙසයි. වයස අවුරුදු 10දී ඉගෙනීම් කටයුතු සඳහා කොලඹ නගරයට පැමිණි ඇය තම යෙහෙළියන්ගේ කොණ්ඩා මෝස්තර දැමීමටත්, පුවත්පත් වල තිබූ රූපලාවණ්‍ය සහ නිර්මාණ තරඟ වලට යොමුවී ඒවායින් ත්‍යාග දිනාගැනීමටත් පුරුදුව සිටියා.

තම අධ්‍යාපන කටයුතු නිමාවීමෙන් පසුව රූපලාවණ්‍ය සහ කොණ්ඩා මෝස්තර පාඨමාලාවක් හැදෑරූ ඇය එතැනින් නතර වූයේ නැහැ. විවාහ වීමෙන් පසු එංගලන්තයට සංක්‍රමණය වූ ඇය, එහිදී කනිෂ්ඨ කොණ්ඩා මෝස්තර ශිල්පිනියක් ලෙස රැකියාව ආරම්භ කළා. එහිදී ඇයට විවිධ බාධක, කම්කටොළු මැද වුවත් ඉතා පුළුල්, වටිනා පුහුණුවක් ලබාගන්නට හැකියාව ලැබුණා. එයින් පසුව ඇය තවත් රූපලාවණ්‍යගාරයක stylist කෙනෙකු වශයෙන් වැඩකටයුතු ආරම්භ කළා.

කෙටි කාලයකින් පසු ශ්‍රී ලංකාවට යළි පැමිණීමෙන් පසු ඇයට පෙනී ගියේ ශ්‍රී ලංකාව තුල කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය ශිල්පය තවමත් දියුණු වී නොමැති බවයි. විශේෂයෙන් blow-dry ක්‍රමය මගින් කොණ්ඩා සැකසීම ලංකාවට ආගන්තුක බව ඇයට පසක් වුණා. Blow-dry ක්‍රමය මුලින්ම ලංකාවට හඳුන්වාදුන් ඇය, තම හිතවතුන්ට සහ යෙහෙළියන්ට තමා උගත් ක්‍රම භාවිතයෙන් කොණ්ඩා සකසා දීමට කටයුතු කල අතර, ඇය පෙන්වූ දක්ෂතාවය නිසාම ඇයගේ ශිල්පක්‍රම වඩ වඩාත් ජනප්‍රිය වීමට පටන්ගත්තා. පුවත්පත් සහ රූපවාහිනී නාලිකා ඔස්සේත් ඇයගේ දක්ෂතාවයන් එලි දැක්වීමට පටන් ගත් නිසාවෙන් ඇය ක්‍රමක්‍රමයෙන් කාර්යබහුල වීමට කටයුතු සැලසුණා. තනිවම මේ සියල්ල කළමනාකරණය කිරීමට නොහැකි නිසා ඇය කිහිප වතාවක්ම අළුත් සේවිකාවන් බඳවාගත් අතරම, සිය නිවසේ කුඩා කාමරයක ඇරඹුණු ඇගේ ගමන, කොළඹ පළමු පෙළේ රූපලාවණ්‍යගාරයක් බවට පරිවර්තනය වුණා. Ramani Fernando Salon, ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල පමණක් නොව, තරු පහේ හෝටල් වලද ශාඛා ලෙස පැතිරුණා.

Ramani Fernando

ඉතාම කාර්යබහුල රැකියාවක් වුවත් ක්ෂේත්‍රයට තමාගේ ඇති ආශාව නිසාම ඇයට එය එතරම් පීඩනයක් වූයේ නැහැ. තම දරු මුණුපුරන් සමග කාලය ගත කරන්නට ලැබීම ඇයට ඉමහත් සතුටක්. එමෙන්ම ඇයගෙන් පුහුණුව ලබාගෙන ක්ෂේත්‍රය තුල ඉදිරියට යන කාන්තාවන් පිළිබඳ ඇයගේ ඇත්තේ විශාල ආඩම්බරයක්. රමණි ප්‍රනාන්දු මහත්මිය පවසන ආකාරයට, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කියන්නේ කාන්තාවන්ට ඉතාම සුදුසු සහ ඉදිරියට යාමට පහසු ක්ෂේත්‍රයක්. මනා පුහුණුවක් ලැබීමත්, ධෛර්යමත්ව වැඩ කිරීමත්, කාලය කළමනාකරණය කරගැනීමේ හැකියාවත් මෙම වෘත්තීයට අත්‍යාවශ්‍ය බව ඇය ප්‍රකාශ කළා. “මම වඩාත් හොඳින් දකින දෙයක් තමයි ලංකාවේ තරුණ පරම්පරාවට හොඳ talent එකක් තියෙනවා. නමුත් එයින් හුඟක් අය ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. ඒ වගේම commitment එකත් අඩුයි. ඔබේ හොඳ commitment එකක් සහ මේ ක්ෂේත්‍රයට ආදරයක් නැත්නම් ඔබට දුර ගමනක් යන්න අපහසුයි. එක අරමුණක් වෙනුවෙන් පසුබට වෙන්නේ නැතුව වැඩ කරනවා නම් ඔබට මේ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න අපහසු නැහැ.”

තමාගේ කාලය කළමණා කිරීමට ඇති හැකියාව සහ මනා පෙර සූදානම ඇයගේ දියුණුවට හේතු කාරණා වූ බව රමණි ප්‍රනාන්දු මහත්මිය අප සමග කියා සිටියා. ගෘහණියක්, බිරිඳක් සහ මවක් ලෙස ඇය උදෑසනින් නැගිට, තමාගේ සුවතා ව්‍යායාම් වල යෙදී දවස ආරම්භ කරන බවත්, මානසික සහ ශාරීරික සුවතාවයට ඇය සැමවිටම මුල්තැන දෙන බවත් ඇය විශේෂයෙන් පැහැදිලි කළා. තමාගේ සාර්ථකත්වය පිටුපස තමාට විශාල සහයෝගයක් දෙමින් ඇයව ධෛර්යමත් කරන සිය පවුලත්, ඇයගේ කාර්ය මණ්ඩලයත් ඇය ආදරයෙන් මතක් කර සිටියා.

“මගේ කාර්ය මණ්ඩලයෙන් 60%ක්ම කාන්තාවන්. ඒ සියලුම දෙනාට අතිරේක වැඩ රාජකාරි බහුලයි. ඇතැම් අය විවාහකයි. ඇතැම් අය තවමත් ඉගෙනීම් කටයුතු වල යෙදෙනවා. ඒත් මම හිතන්නේ අපි කොතරම් කාර්යබහුල වුණත් අපි සතුටින්, මනස නිදසහ් කරගෙන වැඩ වල යෙදෙනවා නම් දවස ගෙවෙනවා අපට දැනෙන්නේ නැහැ. ඒ වගේම අපි අපේ උපරිමය අපේ රැකියාව වෙනුවෙන් ලබාදෙනවා නම් අපිට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. කාන්තාවක් හැටියට අපි හැමෝටම පවුල් ජීවිතය වගේම තමන්ගේම අරමුණක් සහ සිහිනයක් තිබීම වැදගත් කියලා මම විශ්වාස කරනවා.ඒ වෙනුවෙන් අපි ඇපකැප වී වැඩ කළ යුතුයි.”

රමණි ප්‍රනාන්දු මහත්මිය බලාපොරොත්තු වන්නේ තවතවත් ක්ෂේත්‍රය තුල තමාගේ දැනුම පුළුල් කරගනිමින්, ඇයගේ රූපලාවණ්‍යාගාර වැඩිදියුණු කිරීමටයි. මේ සඳහා තමා යටතේ වැඩ කරන සියල්ලන්ටම හොඳ පුහුණුවක් ලබාදීමට ඇය කටයුතු කරනවා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සෑම දිනකම අළුත් වන සහ වෙනස් වන ක්ෂේත්‍රයක් බැවින් සතුටින් සහ උද්යෝගයෙන් ඇය තම වැඩ කටයුතු වල නියුතු වන බවත්, ඇයගේ සාර්ථකත්වය පිළිබඳ ඇය ඉතා සතුටට පත්වන බවත් ඇය තවදුරටත් අප සමග කියා සිටියා.

Editorial

The premier source for insight, advice and guides from Sri Lanka’s most influential entrepreneurs.

Clayton Durant

Editorial

The premier source for insight, advice and guides from Sri Lanka’s most influential entrepreneurs.